ඈ...
ඈ...
මින් පෙර නුදුටු නෙතු සඟලක් මුන ගැසුනා
නෙතු යුග දිගේ ඒ සිත හිමිහිට ඇදුනා
පෙර දින නොලද ආදරයක ඉව දැනුනා
සිත මත හිමින් පෙම් කුසුමන් පුබුදු වුනා
සිහිනෙන් පවා ඒ දෑසම සෙව්වා
නොසිතූ විලස ඔහු ඈ සතු වූවා
ඇගේ සිහින ලෝකේ මල් වැසි වැටුනා
පිරිවර මැද පතිකුලයට සැපැත් වුනා
හිරු එලියත් පොද වැස්සත් වැටෙන විට
පෙනුනා පුංචි දේදුන්නක් අහස මැද
පාවෙන වලාවන් අතරින් පෙනෙන විට
පාට වුණා ඇගෙ ලෝකය විටින් විට
මල් වැසි බිඳෙන් බිඳ වියලී යන්න වුනා
මල්පෙති එකින් එක ගිලිහී බිම වැටුනා
සයුරට ගලන්නට ජල කද උරන වුනා
ඇගේ සිහින ලෝකය පොඩි වී වැටුනා
මහ ගඟ සෙමෙන් වියලීගෙන යන්න වුනේ
ගල්පර තවත් ඈ මග අවහිර කෙරුවේ
දෙපසෙහි තුරු ලතා ඈ වෙත අත වැනුවේ
සයුර සොයා යන්නට ඈ වෙර දැරුවේ
සයුර සොයා ගෙන යන විට මෙලෙස
සිඳී ගියා වැලි ඈ කතරක් විලස
මල් වැසි වැටේ යැයි බලනා විට අහස
දුටුවා පාට දේදුනු නිල් අහස් කුස
දේදුන්නක් පමණයි ඉතිරිව ඇත්තේ
මල් වැසි වැටෙන්නෑ කිසිදා මින් මත්තේ
මල් පෙති ගිලිහිලා වැටුනත් නෙතු මත්තේ
ඔහු අන්සතුයි ඈ සිත තේරුම් ගත්තේ
වැලි කතරක් ඇත අහසට පෙම් බඳිනා
එනමුදු අහස නැත පැතු සෙනෙහස රදනා
මල් පෙති එකිනෙකින් පරවී ඇද වැටුනා
ඇය දිවි සැදෑ යාමෙක නිහඩව ගෙවුනා
Comments
Post a Comment